Ven-Kiribathgoda-Gnanananda-Thero

හමෙව්නාව භාවනා අසපුව යනු ගෞතම බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් සදහම් සන්දේශය ලොව පුරා පැතිරවීම පිණිස බිහිවූ උතුම් පුණ්‍ය භුමියකි. 1999 අගෝස්තු මස 14 වන දින පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් ආරම්භ කරන ලද මහමෙව්නාව භාවනා අසපුව මේ වන විට ශාඛා ප්‍රශාඛා විහිදී ගිය නුග රුකක් සෙයින් ලොව පුරා පැතිර ගිය සුවිසල් ආයතනයකි. ශ්‍රී ලංකාව තුල අසපු ශාඛා 45කින් ද විදේශීය ශාඛා 24 කින් ද සමන්විත වූ මහමෙව්නා භාවනා අසපු සංචිතයෙහි මේ වන විට 700කට ආසන්න තරුණ භික්ෂූන් වහන්සේලා පිරිසක් උතුම් පැවිදි බව ලබා පිළිවෙත් පුරමින් වැඩ සිටින අතර ලොව පුරා අවබෝධයෙන්ම තිසරණයෙහි පිහිටා පින් රැස් කරමින් ධර්මයෙහි හැසිරීමට වෙර දරන ලක්ෂ සංඛ්‍යාත ගිහි සැදැහැවතුන් පිරිසක් මහමෙව්නාව වටා එක් රොක් වී සිටිති. අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේගේ මූලිකත්වයෙන් සහ මඟ පෙන්වීම යටතේ ගත වූ වසර දහයක පමණ කාලය තුළ මහමෙව්නාව භාවනා අසපුව ලොව පුරා අද්විතීය වූ ධර්මය ප්‍රචාරයක් සිදු කරනු ලැබූ අතර එය තවදුරටත් ඒ අයුරින් සිදු කිරීම අපගේ අරමුණයි.

මෙම වසරේ ඔක්තෝම්බර් මාසයේ 18 වන දින පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා මත මහමෙව්නාව භාවනා අසපු සංචිතයෙහි 23 වන විදෙස් අසපු ශාඛාව ලෙස නෙදර්ලන්තයේද මහමෙව්නා භාවනා අසපු ශාඛාවක් ආරම්භ කරන ලදී. දැනට නෙදර්ලන්තයේ පවතින එකම ශ්‍රි ලාංකික බෞද්ධ විහාරස්ථානය මෙය වන අතර පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍ය ස්වාමින්වහන්සේලා දෙනමක් එහි වැඩ සිටිති. මෙමෙ අසපුව මුල් කරගෙන දැනට විශාල සදහම් සේවාවක් සිදුවන අතර නෙදර්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික පින්වතුන් බොහෝ දෙනෙක් ධර්මය ඉගෙන ගනිමින්, බණ භාවනා පුරුදු කරමින් සිටිතී. එමෙන්ම නෙදර්ලන්ත ජාතික පින්වතුන් හටද බුදුරජාණන් වහන්සේගේ නිර්මල ශ්‍රී සද්ධර්මය කියාදීම පිණිස දහම් වැඩසටහනක් ඉදිරියේදී ආරම්භ කරන්නට බලාපොරොත්තු වේ.

මෙම පුන්‍ය භූමිය තුළින් නෙදර්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ටත් උතුම් තිසරණය කෙරෙහි චිත්තප්‍රසාදය ඇති කරවා, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය පිළිබඳ පිරිසිදු ධර්මඤාණයක් ලබාදී, ධර්මයේ හැසිරීමට උපකාර කිරීම අපගේ අරමුණයි. අපගේ දහම් සේවාව තුළ කිසිදු ජාති භේදයක් නැත. භාෂා භේදයක් නැත. වර්ණ භේදයක් නැත. ආගම් භේදයක් නැත. මහමෙව්නාව වටා එක්වන ඔබ සියළු දෙනාම මෙත් සිතින් පිළිගනිමු. ඕනෑම කෙනෙකුට බුදුරජුන්ගේ සත්‍ය තේරුම් ගැනීම පිණිස ඔබ බුද්ධිමත් නම් ඒ ධර්මය තිබෙන්නේ ඔබ සඳහා ය. ඔබේ යහපත හා සැපය සඳහාය. එනිසා අප සියළු දෙනා එම සත්‍ය වටා රොක් වෙමු. ඉගෙන ගනිමු. ධාරණය කරගනිමු. තේරුම් ගනිමු. ඒ අනුව ජීවත් වෙමු. ලොවට බෙදා දෙමු. එය මේ යුගයේ අප සතු උත්තරීතර කාරයභාරයයි. ඔබට බුදුරජාණන් වහන්සේගෙත්, ධර්මයේත්, ආරය සංඝයාගේත්, කළ්‍යාණ මිත්‍රයින්ගේත්, සියළු දෙවියන්ගේත් ආශිර්වාදය ලැබේවා!

තෙරුවන් සරණයි!